මම දැකල තියෙන දෙයක් තමයි අපේ ගොඩක් අය මේ විසිතුරු මාළු කිව්වහම දන්නෙ... ස්වෝඩ්ටේල් (swardtail), ප්ලේටි (platy), ගෝල්ඩ් ෆිෂ් (gold fish), ඒන්ජල්ස් (angel), වගේ මාළු වර්ග... හැබැයි මේ අයට වඩා ලස්සන, හොයාගන්න ටිකක් අමාරු මාළු වර්ග ගණනාවක්ම ඉන්නවා. පස්සෙ සොයා බලමු ඒ අය ගැනත්... අනෙක් කාරණය තමයි ගොඩක් ඇක්වේරියම්වල විකුණන්න ඉන්නෙ විකෘති මාළු (deform) එහෙම කිව්වාම ඔයාල විශ්වාස කරන එකක් නැහැ. නමුත් ඒක සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ගමු කවුරුත් දන්න ගෝල්ඩ් ෆිෂ් මාළුවව. ගෝල්ඩ් ෆිෂ් මාළුවෙක් ගත්තාම එයාගෙ වර්ණ, වරල්, පිහිටිය යුතු පිළිවෙලක් තියෙනවා. හැබැයි ඒකත් ගෝල්ඩ් ෆිෂ් විශේෂයෙන් විශේෂයට වෙනස් වෙනවා. ඉතින් හැමෝම දන්නෙ නැහැනෙ මාළුන්ගෙ නිවැරදි ලක්ෂණ හොයන්න. ඉතින් බොහොමයක් අය මාළුව පිහිනනව නම් බැලූ බැල්මට ලස්සනට ඉන්නවා නම් මිල දී ගන්නවා. (හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා නිවැරදි වර්ණ සහ ලක්ෂණ තියෙන මාළු ගැන වැඩියෙන්ම හිතන්න ඕනෙ ඒ අයව අභිජනනය (breed) කරනවා නම් තමයි) මොකද විකෘති මාළු (deform) අභිජනනය කළාම ලැබෙන පැටවුණුත් බහුතරයක් විකෘති අයම තමයි.
අපි බලමුද එහෙනම් විකෘති සහිත මාළු කිහිප දෙනෙක් හඳුනා ගන්න.
බලන්න මේ ඡායාරූපයෙ ඉන්න ගෝල්ඩ් ෆිෂ් මසුන් දිහා... සුදු පැහැති මත්ස්‍යයා බැලූ බැල්මටම විකෘති මාළුවෙක් සේ පෙනෙනවා. එහෙත් අනෙක් මාළු එහෙම නොපෙනුනත්, ඔවුනුත් යම් විකෘතිතා වලින් පෙලෙනවා. මෙහෙම වෙන්න ප්‍රධානම හේතුව විකෘතිතා ඇති මව් සතුන් (breeding pairs) යොදාගෙන කරන ලද අභිජනනයන්. මිනිසුන් සම්බන්ධයෙන් කතා කරන විට ලේ ඥාතීන් අතර සිදුවන විවාහ තුළින් ඇතිවන දරුවන් අංගවිකල තත්ත්වයන්ට ගොදුරු වීම ඇතිවන බව ඔබ අසා ඇති. එම තත්ත්වයන් බොහොමයක් සතුන් තුළත් දක්නට ලැබේ.
එහෙනම් අපි කතා කරන්න බලාපොරොත්තු වුණ දේ කතා කරමු. මම අනෙක් මාළු වර්ග වලට වඩා සික්ලි විශේෂ (cichlid species) වලට වඩාත් කැමතියි. ඒකට හේතු ගණනාවක්ම තියෙනවා. ඔයාලත් ඒගොල්ලො ගැන දන්නැතුව මිසක් දන්නවා නම් අනිවාර්යයෙන්ම කැමති වෙයි. එහෙනම් අපි බලමුද සික්ලි කියන මත්ස්‍ය විශේෂය හඳුනා ගන්නා ආකාරය.
මොවුන් හඳුනා ගැනීමට හැකි ප්‍රධානම ලක්ෂණය වන්නේ මොවුන්ගේ පෘෂ්ඨිය වරල (dorsal fin) යි. ඉහළට විහිදුණු වරළක් සේ දිස්වන මෙහි ඇත්තේ සියුම් කටු විශේෂයකි. සික්ලි මසුන් කලබල වූ විට සහ කලහකාරී වූ විට මේවා තදින් ඉහළට විහිදුවයි. ඇත්තෙන්ම ඒවා ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාවට ය.
ඉතින් මම අනෙක් මසුන්ට වැඩියෙන් සික්ලි මසුන් ගැන ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වනවා. මොකද අපේ රටේ තවම එතරම් ජනප්‍රිය නැතත්... ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය මත්ස්‍ය කුලය තමයි සික්ලි මත්ස්‍ය කුලය... අපේ රටේ අයවත් මෙයාල ගැන දැනුවත් කරන්න තමයි මගේ වෑයම...
මේ ඉන්නෙ සික්ලි කුලයේ සුලභ සාමාජිකයෙක්. මෙයාව හඳුන්වන්නෙ convict cichlid (කොන්වික්ට් සික්ලිඩ්) කියලා. මෙයා සුදු වර්ණයෙනුත් ඉන්නවා. පේනවා නේද මෙයාගෙ පෞච්ඡ වරල (dorsal fin) එක, ඔය හිස මුදුනෙ ඉඳන් පිටුපසට විහිදිලා තියෙන්නෙ. ඒක තමයි මෙයාලව හඳුනා ගන්න ලේසිම ලක්ෂණය.
එහෙනම් තවත් post එකකින් හමුවෙමු... ජයවේවා...
කියවන ඔයාලගෙ අදහස් ඉතාම වැදගත්. එම නිසා කමෙන්ට් එකක් වශයෙන් ඔයාලගෙ අදහස් දක්වන්න. ඒක බ්ලොග් එකේ සාර්ථකත්වයට ගොඩක් වැදගත් වේවි...