Monday, January 14, 2013

ඔස්කා මසුන් අභිජනනය (breeding)


ඔස්කා (Oscar fish)
විද්‍යාත්මක නාමය - Astronotus ocellatus
සික්ලි කුලයට අයත් වන ලොව පුරා ඉතාමත්ම ජනප්‍රිය ප්‍රමාණයෙන් විශාලව වැඩෙන අලංකාර මත්ස්‍ය විශේෂයකි.
ඔස්කා මත්ස්‍යයාගේ නිජබිම වෙන්නෙ ඇමේසන් වනාන්තරය ආශ්‍රිත ඇමසන් ගංගාව. ඇමසන් වනාන්තරය ආශ්‍රිතව පවතින ජලාශවල පතුළ ශාක පත්‍රවලින් ගහණයි. ඉතින් ඔස්කා මත්ස්‍යයාගෙ ශරීරයේ තියෙන වයිරම් රටාවත් සමග එයාට පුළුවන් ජලාශය පතුළෙ තියෙන කොළත් සහ ශාක විශේෂ අතර සැඟවිලා ඉන්න. ඉතින් මෙයාට ලොකු වාසියක් වෙනවා මේ සමේ පැහැය, සතුරන්ගෙන් සැඟවිලා ඉන්නත්, ආහාර සොයා ගන්නත්.
අපි ඒ කතා කළේ එයාගෙ ස්වභාවික ජලාශවල දිවි ගෙවන විශේෂ (
wildtype) එහෙමත් නැත්නම් (common oscar) එයාගෙ සොභාවික වාසස්ථානවල ජීවිතය ගැන. නමුත් මේ වන විට එම විශේෂ ඇසුරින් මිනිසා විසින් බිහිකර ගත් නව විශේෂවල තත්ත්වය තමයි අපි කතාකළ යුත්තේ...


ඇල්බිනෝ ඔස්කා (albino oscar)
මේ වන විට දෙමුහුම් (hybrid) කිරීම වැනි ක්‍රම මගින් බිහි කළ ඔස්කා විශේෂ කිහිපයක්ම සිටී. එම විශේෂයන්ගෙන් කිහිපයක් පහත දැක්වේ.


ඇල්බිනෝ ඔස්කා (albino oscar)
රෙඩ් ඔස්කා (
red oscar)
වේල් ටේල් ඔස්කා (
vail tail oscar)
රෙඩ් ලුටිනෝ ඔස්කා (
red lutino oscar)

මත්ස්‍යයාගේ ගතිගුණ
සික්ලි කුලයේ අනෙක් මසුන් හා ගත් කළ මොවුන් පිහිනීම සිදු කරන්නේ සෙමින් ය. එහෙත් හදිසියේ කරදරයක් වැනි යමක් හැඟුන විට ඉතා වේගයෙන් ගොස් සැඟවීමට ද මොවුන්ට හැකියාව ඇත. එමෙන්ම ආහාර ගන්නා අවස්ථාවේ දී ඉතාම ක්‍රියාශීලී වේ. මොවුන් සික්ලි කුලයේ මසුන් නිසා තරමක් කලහකාරී මසුන් වේ. එහෙත් සම ශරීර ප්‍රමාණවල මසුන් සමග එකම ටැංකියක තැබිය හැකිය. නිසි වේලාවට ආහාර නොලැබුන විට මොවුන්ගේ කලහකාරීත්වය වැඩිවේ. එවැනි අවස්ථාවල තමාගේ මුව තුළට  රිංගවා ගත හැකි ප්‍රමාණයේ ඕනෑම මත්ස්‍යයෙක් ආහාරයට ගැනීමට මොවුන් පෙළඹේ. (වෙනත් සික්ලි කුලයේ මසුන්ට සාපේක්ෂව මොවුනට විශාල මුඛයක් පිහිටා ඇත).


වේල් ටේල් ඔස්කා (vail tail oscar)
අභිජනනය සඳහා මසුන් තෝරා ගැනීම සහ අභිජනනය (breeding)
මොවුන් අභිජනනය කිරීමට අදහස් කරනවා නම් මොවුන් කුඩා කාලයේ දී මිල දී ගැනීම වඩාත් යෝග්‍ය වේ. එහෙත් එසේ මිල දී ගන්නවා නම් කරුණු කිහිපයක් කෙරේ අවධානය යොමු කළ යුතු වේ. එනම්, ඕනෑම මත්ස්‍යයකු අභිජනනය කරනවා නම් ඔවුන් පරම්පරාවේ ලේ නෑයන් අතර අභිජනනය සිදු නොකිරීම මගින් නිරෝගිමත්, නිසි වර්ණ සහිත ලෙඩ රෝගවලට හොඳින් ඔරොත්තු දෙන ශක්තිමත් පැටවුන් ලබා ගත හැකි ය. මෙය ඕනෑම මත්ස්‍යයකුට පොදු තත්ත්වයකි. එමෙන්ම අඟල් 2-3 අතර ප්‍රමාණයේ පැටවු කාලයේ දීම ලබා ගැනීමෙ යෝග්‍ය වේ. එසේ ලබා ගන්නා පැටවු එකම තැනකින් පැටවු ලබා ගැනීමෙන් වැළකිය යුතු ය. (එසේ කිරීමෙන් අදහස එකම මව් සතුන්ගේ පැටව් අභිජනනය වීම වැළැක්වීමයි. එසේ වුවත් හොඳින් සොයා බලා එකම මව් සතුන්ගේ නොවන මත්ස්‍යයින් ලබා ගැනීමට වගබලා ගන්න) එසේ නොවීමට අපට කළ හැකි සරලව ක්‍රමය වන්නේ විදේශයන්ගෙන් මෙරටට මසුන් ගෙන්වන ස්ථානයකින් යම් පැටවුන් ප්‍රමාණයකුත්, දේශීයව අභිජනනය කළ ස්ථානයකින් මසුන් යම් ප්‍රමාණයකුත් ලබා ගැනීම වේ. මසුන් මිල දී ගැනීමට පෙර ඔවුන් හොඳින් නිරීක්ෂණය කළ යුතු ය. එම මසුන් හොඳින් පිහිනීමට හැකි මසුන් විය යුතු ය. ඔවුන්ගේ ශරීරය සහ වරල් ඇද කුද වලින් තොර විය යුතු ය.


එසේ ලබා ගන්නා මසුන් වෙන වෙනම ටැංකිවල වැඩීමට සැලැස්විය යුතු වේ. සාමාන්‍යයෙන් මොවුන් අවුරුද්දකින් පමණ ලිංගිකව පරිණත වේ. එහෙත් නිසි පරිදි ආහාර ලබා නොදීම නිසා වැඩීම බාල වුව හොත් ඊට වඩා ප්‍රමාද විය හැකි ය. මොවුන් ලිංගිකව පරිණත වීම ඇරඹීමත් සමඟ එකිනෙකා සමඟ කොටා ගැනීමට පෙළඹීම නිරීක්ෂණය කළ හැකි ය. එසේ වූ විට කටවල් වලින් එකිනෙකා තල්ලු කර ගැනීම සපා කා ගැනීම දැකිය හැකි ය. එම අවස්ථාව වන විට ජෝඩු වශයෙන් වෙන්වීම ආරම්භ වෙයි. ඔවුනට අවශ්‍ය ලෙස තම සහකරු හෝ සහකාරිය සොයා ගැනීමට දීම සාර්ථක වුවත්, එසේ වීමට පෙර ටැංකිවල වෙන වෙනම සිටින මසුන්ගෙන් එක් ටැංකියකින් පිරිමි සතෙකුත් අනෙක් ටැංකියෙන් ගැහැණු සතෙකුත් ලෙස ජෝඩු කරවීමට උත්සාහ කළ යුතු ය. එසේ කිරීම යම් අපහසු කාර්යයක් වුවත් බොහෝ දුරට සාර්ථක ප්‍රතිඵල ලැබේ. පිරිමි සතුන් සහ ගැහැණු සතුන් වෙන්කර හඳුනාගෙන වෙනමම ටැංකිවලට ජෝඩුව බැගින් දැමිය යුතු වේ.

ගැහැණු, පිරිමි සතුන් හඳුනා ගැනීම
ජෝඩුවක් වෙන්වීම ආරම්භ වීමත් සමඟම ඔවුන් ටැංකිය පතුළ තම කටින් ශුද්ධ පවිත්‍ර කිරීම සිදු කරයි. එමෙන්ම ටැංකි පතුලේ ඇති පැතලි ස්ථරයන් වැනි දෑ වුවද මෙසේ කළ හැකි ය. ඒ එම ස්ථානය ඔවුන් බිත්තර දැමීම සඳහා සකස් කර ගන්නා ආකාරයයි.

ගැහැණු මත්ස්‍යා
ගැහැණු මත්ස්‍යාගේ ගුදය ආසන්නයේ කුඩා බටයක් වැනි ආකාරයක් ගනී... මෙය පිටතට පැමිණෙන්නේ බිත්තර මේරී ඇති සහ බිත්තර දැමීමට ආසන්න වනවාත් සමඟය.
ගැහැණු මත්ස්‍යයාගේ egg tube නම් කොටස, පිරිමි මත්ස්‍යයාගේ මෙම
කොටස ත්‍රිකෝණාකාර ලෙස  තුඩක් මෙන් කුඩාවට දිස්වේ.
පිරිමි මත්ස්‍යා
ගැහැණු මත්ස්‍යයාගේ ගුදය ආසන්නයේ තිබූ බටයක් වැනි අවයවය පිරිමි මත්ස්‍යයාගේ කුඩා තුඩක් ආකාරයෙන් දිස්වේ. මෙය ඡායාරූප මගින් පැහැදිළි වනවා ඇත.

බිත්තර දැමීම සහ ඒවා ආරක්ෂා 
කර ගැනීම
මත්ස්‍ය ජෝඩුවක් වෙන් වූ පසු ඔවුන්ට බිත්තර දැමීමට සුදුසු පරිසරයක් ටැංකිය තුළ ඇතිකළ යුතු ය. එසේ සකස් කරන විට ජලය ගැන වඩාත් සැළකිලිමත් විය යුතු ය. ටැංකියේ පතුළේ ඇති මත්ස්‍යයින්ගේ මළපහ, නරක් වූ ශාක කොටස් ආදිය මසුන්ට අවහිරයක් නොවන සේ සයිපන් කිරීම මගින් ඉවත් කළ යුතු ය. පසුව හොඳින් පිරිසිදු කළ කුඩා උළු කැට කැබැල්ලක්, හෝ තද පැහැති ප්ලාස්ටික් පතුරක් (මේ සඳහා ප්ලාස්ටික් වැහි පීලි කැබැල්ලක් යෝග්‍ය වේ) මසුන්ට අවහිරයක් නොවන සේ සෙමින් තැන්පත් කරන්න. පසුව ටැංකිය කුඩා දැල් කැබැල්ලකින් හෝ එවැනි යමකින් ආවරණය කරන්න. සැලකිය යුතු: ටැංකිය ඒරියේට් කර ඇත්නම් එහි වේගය අඩු කරන්න. බිත්තර දැමීම සඳහා තැන්පත් කළ ප්ලාස්ටික් තහඩුව අවට ජලය වේගයෙන් සෙලවෙන ලෙස ඒරියේට් කිරීම නොකළ යුතු ය.

විනාඩි 20ක පමණ කාලයකින් පසු මසුන් යුවළ බිත්තර දමා ඒවා සංසේචනයක කරයි. දින තුනකින් පමණ පසුව පැටවුන් බිහි වුවත්, ඔවුනට පිහිනීමට තවත් කාලයක් ගතවේ.
නමුත් ඊට පෙර යම් දෙයක් සඳහන් කළ යුතු ය. එනම්, මෙම මසුන් බිත්තර දමා ඒවා ආරක්ෂා කිරීමට උත්සාහ කළ ද බිත්තර යම් ප්‍රමාණයක් දිලීර ආසාදන වලින් විනාශ වේ. එවැනි නරක් වූ බිත්තර මව් පිය යුවළ විසින් ආහාරයට ගනී. ඒ අනෙක් බිත්තර වලට දිලීරය පැතිරවීම නැවැත්වීම සඳහා වුවත් බොහෝ විට මව් පියන් විසින් රැක ගන්නා පැටවුන් ප්‍රමාණය ඉතා අඩු ප්‍රමාණයක් ගනී. ඊට පිළියමක් වශයෙන් අකමැත්තෙන් වුවද අපට බිත්තර සහිත ප්ලාස්ටික් තහඩුව හෝ උළු කැඩ කැබැල්ල, කෘතිමව රැක්ක වීමට සිදුවේ. මේ ක්‍රමය මඟින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි වනවා ඇත. එය සිදු කළ යුත්තේ මෙසේ ය.
මුළින්ම මත්ස්‍ය යුවළ බිත්තර දැමූ ටැංකියේ ඇති ජලය ප්‍රමාණයෙන් විශාල ප්ලාස්ටික් බේසමක පතුළේ සිට අඟල් 5-7 අතර වනසේ පුරවන්න. ඉන්පසුව මෙම බේසමට ඒරියේටරයකින් වායු ධාරාවක් සපයන්න. එම වායු ධාරාව ඉතා අඩු වේගයකින් යුතුව නිකුත් වන සේ සැකසිය යුතු ය. මෙය ඉතාම ප්‍රවේශමෙන් කළ යුතු ය. එම ජලයට වෙළෙඳපොළේ මිලදී ගැනීමට ඇති දිලීර නාශක (මේ සඳහාම විශේෂයෙන් නිපදවූ ඖෂධ ඇත) නිර්දේශිත ප්‍රමාණයෙන් බේසමට එක් කරන්න. පසුව මත්ස්‍ය යුවළ මසුන් ඇල්ලීමට ගන්නා නෙට් එකක් මාර්ගයෙන් ටැංකියේ වෙනත් පැත්තකට යොමුකරන්න. බිත්තර සහිත ප්ලාස්ටික් පතුර ගැනීමට යාමේ දී මත්ස්‍ය යුවළ ඉතාම කළහකාරී ලෙස හැසිරෙයි. ඉතාම වේගයෙන් ඔබට පහර දීම සිදු කරයි. එම හේතුවෙන් ටැංකියේ බිත්තිවල වැදී ඔවුනට තුවාල සිදු විය හැකි ය. එහෙයින් ඔවුනට තුවාල සිදු නොවන සේ මෙය කිරීමට වගබලා ගන්න. දැන් ප්‍රවේශමෙන් බිත්තර සහිත ප්ලාස්ටික් පතුර ගෙන බේසමේ පතුළේ සිට අංශක 45ක් පමණ ඇළ කර බේසමේ පැත්තකට හේත්තු කරන්න. ඉන් පසුව ඒරියේටරයේ වායු ධාරාව බිත්තර ඇති පතුරේ සිට අඟල් 3ක් පමණ ඈති තබන්න. වායු බුබුළු බිත්තරවල නොගෑවිය යුතු ය.
බිත්තර සහිත බේසමට සැපයූ වායු ධාරාව අනිවාර්යයෙන්ම දින ගණනාවක් නොකඩවා සැපයිය යුතු වේ. එසේ නොකළ හොත් මත්ස්‍ය පැටවුන් මිය යයි. මෙසේ දින කිහිපයක් ගත වූ පසු මත්ස්‍ය පැටවුන් පිහිනීමට පටන් ගනී. එවිට ඔවුනට ආහාර දීම ආරම්භ කළ හැකි ය.
මේ සම්බන්ධව ගැටළු ඇත්නම් කමෙන්ට් එකක් මගින් ඉදිරිපත් කරන්න.
එහෙනම් තවත් පෝස්ට් එකකින් හමුවෙමු ඔබට ජය...

කියවන ඔයාලගෙ අදහස් ඉතාම වැදගත්. එම නිසා කමෙන්ට් එකක් වශයෙන් ඔයාලගෙ අදහස් දක්වන්න. ඒක බ්ලොග් එකේ සාර්ථකත්වයට ගොඩක් වැදගත් වේවි...

16 comments:

  1. බිත්තර දමන කාල සිමවක් තියෙනවද, කොයි කලෙද?

    ReplyDelete
  2. මෙහෙමයි... සාමාන්‍යයෙන් ඔස්කා මසුන් බිත්තර දමන කාලයක් තියෙනව නමුත් මේ වන විට ඒක එක කාලසීමාවකට සීමා නොවී අවුරුද්දකට කිහිප වරක්ම breed වෙනවා... මාළු ජෝඩු කිහිපයක් ගත්තොත් හැම ජෝඩුවම එකම කාලයක breed වෙන්නෙ නෑ. එක එක ජෝඩුව කාලෙ breed වෙන්න පුළුවන්... අනෙක් කාරණය තමයි මාළුවට බිත්තර කහමද වගේ දේවල් ආහාරයට දීම මගින් බිත්තර දැමීම ඉක්මන් වෙන බව මම දැකල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. බිත්තර සුදු මදය නේද ඔස්කා මාලුවට දාන්න කියන්නෙ

      Delete
  3. මෙයාල කොච්චර විතර ලොකු වෙනවද,මෙයාල ගේ ටැංකිය කොචර විතර වෙන්න ඕනිද

    ReplyDelete
  4. මේගොල්ලො සාමාන්‍යයෙන් අඟල් 12ක් විතර විශාල වෙනවා. අනෙක් මසුන්ට සාපේක්ෂව මෙයාලට විශාල ටැංකි අවශ්‍ය වෙනවා. අඩි 3කට වඩා වැඩි ටැංකි අවශ්‍ය වෙනවා.

    ReplyDelete
  5. Thanks for the blog. mokada mamath oscar pair ekak ganna hadanne. mama tikak denagena hitiyata. oyage blog eka balala wedipura denagaththa. mamath breed karanna patan gaththata passe wisthara dannam mekatama. mamath denata goldfish warga keepayak breed karanawa.

    obata sada jaya

    ReplyDelete
  6. thanks very much for ur post

    ReplyDelete
  7. විසිතුරු මසුන් ඇතිකිරීම ව්‍යාපාරයක් විදියට කරන්න නම් උදව් ලබාගන්න පුළුවන් කාගෙන්ද?

    ReplyDelete
  8. ජලජීවී වගා සංවර්ධන අධිකාරියෙන් මේ සඳහා උදව් ලබා ගන්න පුළුවන්. http://www.naqda.gov.lk

    ReplyDelete
  9. mage albino oscar pair eka tankiya adiye ulu kete hodata sudda karala eka gawa dawas ganak denna hodata ekatama hitiya..habai biththara damme nam na...tika dawasakata passe pirimi satha gehanu sathata panna panna kotanna gaththa...pirimi satha gehanu sathage kata hapagena innawa..mekata hethuwa mokakda

    ReplyDelete
  10. බිත්තර දැමීමේ කාලය හඳුනාගන්නේ කෙසේද? නිරෝගී බිත්තර මත්සයන් ආහාරයට ගන්නේ නැද්ද?

    ReplyDelete
  11. තෙග මිලදි ගන්න තියන්වනමි 0763252799

    ReplyDelete
  12. පිරිමි මාලුවේක දාන්න ඔනේද.....ගෑනු සතගෙ එ බඩ හොදටම තියෙනවා

    ReplyDelete
  13. steel core construction and fabrication system for
    Steel core titanium rainbow quartz construction titanium easy flux 125 and fabrication system for the use of traditional materials. Features. Steel core anodizing titanium construction, titanium water bottle construction, titanium wedding band construction and construction $69.00 · ‎In stock

    ReplyDelete

ඔබගේ අදහස් හා යෝජනා...

ගෝල්ඩ්ෆිෂ් (GOLDFISH) මසුන් අභිජනනය (3 කොටස)

බොහෝ කාලෙකට පසුව තමයි මාළු ගැන පෝස්ට් එකක් කරන්නෙ. ඊමේල් මගින් අදහස් යෝජනා එවපු අයටත් ගොඩක් ස්තුතියි. හුඟ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා කාර්යය බහුලත්...