Wednesday, February 20, 2013

මත්ස්‍යයින්ට වැළඳෙන දරුණු රෝගයක් හඳුනා ගනිමු...



ආයුබෝවන්...!
අද මම කතා කරන්න හදන්නෙ මත්ස්‍යයයින්ට වැළඳෙන සුව කරන්න අමාරු රෝගයක් ගැන.
ඩ්‍රොප්සි (dropsy)
රෝගය වැළඳුනු ෆයිටර් මත්ස්‍යයෙක්
බැක්ටීරියාවක් නිසා වැළඳෙන රෝගයකි. මෙම රෝගය වැළඳීමට ප්‍රධාන හේතුව ජලයේ අපිරිසිදුතාවය යි. මෙම බැක්ටීරියාව මසුන්ගේ වකුගඩු ආසාදනය කරයි. මුලින්ම මත්ස්‍යාගේ ඇස් එළියට නෙරා ඒමක් හොඳින් නිරීක්ෂණය කළවිට දැකිය හැකිය. ඉන් දින කිහිපයකින් පසු මත්ස්‍යාගේ කොරපොතු පිම්බී බඩ කෙමෙන් කෙමෙන් විශාල වේ. උදරයේ දියරයක් එකතුවීමෙන් බඩ ඉදිමේ. (මත්ස්‍යයින් ගැන දැනුම අඩු අයෙක් මේ අවස්ථාව මත්ස්‍යා පැටවුන් හෝ බිත්තර දැමීමට ආසන්න යැයි වරදවා වටහා ගත හැකිය) මුල් අවස්ථාවේ මත්ස්‍යා ආහාර ගැනීම පවා සාමාන්‍ය ලෙස කරයි. නමුත් රෝගය උත්සන්න වන විට ආහාර ගැනීම කිරීමට හෝ මත්ස්‍යාට පිහිනීමට පවා නොහැකි ලෙස ශරීරය ඉදිමෙයි. බොහෝ අවස්ථාවල බඩ උඩට සිටින සේ ටැංකියේ පැත්තකට වී මත්ස්‍යා දින ගණනාවක් සිටී. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. 



ජලයේ ගුණාත්මක භාවය ගැන සැළකිලිමත් වූයේ නම් මෙවැනි බොහෝ රෝග වළක්වා ගත හැකි ය. මෙම රෝගයට ගොදුරු වූ කුඩා මත්ස්‍යයින්ට ප්‍රතිකාර කිරීමෙන් සුව කරගැනීමට ඉතා අපහසු ය. එහෙත් විශාල මත්ස්‍යයින් උදා: කාෆ්, ඔස්කා වැනි මත්ස්‍ය විශේෂ ප්‍රතිකාර මගින් සුවකර ගැනීමට හැකියාවක් ඇත. ඒ සියල්ලටම වඩා වැදගත් වනුයේ මෙවැනි රෝග සෑදීම වැළැක්වීමට පියවර ගැනීමයි. එනම්, තම මත්ස්‍ය ටැංකියේ ජලයේ ගුණාත්මක භාවය පිළිබඳ හොඳින් සැලකිලිමත් වීමයි. (මත්ස්‍යයින්ට කෑම දැමීමේ දී කෑම ඉතිරිවී ටැංකිය පතුලේ ඉතිරි වූයේ නම් එම කෑම ඉවත් කළ යුතුය. එසේ නැත්නම් නැවත බඩගිනි වූ විට මසුන් එම නරක් වූ ආහාර ගැනීමට පෙළඹේ. එම ආහාර සමඟ මෙම රෝගකාරක බැක්ටීරියාව ශරීරගත වේ)
උදරයේ දියරයක් පිරී ඇති බව හොඳින් පෙනේ
යම් ටැංකියක මෙම රෝගය වැළඳුනු මත්ස්‍යයෙක් හමුවුව හොත් වහාම එම මත්ස්‍යයා වෙනත් ටැංකියකට මාරු කර ටැංකියේ සිටින අනෙක් මසුන් ද වෙනත් ටැංකියකට දමා, කොන්ඩිස් (Potassium permanganate) හෝ ක්ලෝරීන් (Chlorine) යොදා පැය 2-3 ක් පමණ තබා හොඳින් පිරිසිදු කර නැවත හොඳින් සෝදා දින කිහිපයක් අව්වේ වේලා නැවත භාවිතයට ගත හැක. 
ප්‍රතිකාර
විදේශ රටවල නම් මේ සඳහා ප්‍රතිජීවක (antibiotic) යෙදූ ආහාර වර්ග ඇතත් මෙරට තුළ එවැනි දේවල් සොයා ගැනීම අසීරු ය.
ඇමොක්සිසිලින් 500මිලිග්‍රෑම් (amoxicillin 500mg) ටැංකියේ ඇති සෑම ගැලුම් 10කට මෙම කරලක් බැගින් මිශ්‍ර කර පසු දින සිට ටැංකියේ ජලයෙන් 25%ක් අයින් කර අළුත් ජලය පුරවන්න. මෙසේ සුවවන තෙක් තබන්න. මවිසින් අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලැබූ තවත් ප්‍රතිකාරයක් සඳහන් කිරීමට කැමැත්තෙමි.
එහෙත් මෙම ප්‍රතිකාරය කළ හැක්කේ ප්‍රමාණයෙන් තරමක් විශාල මත්ස්‍යයින් පමණි. (ඔස්කා, කාෆ්, ගෝල්ඩ්ෆිෂ් විශේෂ) මේ සඳහා අවශ්‍ය වන්නේ අප විසින් සාමාන්‍යයෙන් ගන්නා පණු බෙහෙත් කුඩුකර ජලය ඉතා ස්වල්පයක් සමග මිශ්‍ර කර මුඛ මාර්ගයෙන් සිරින්ජරයකට දමා (සිරින්ජරයක කටුව ඉවත් කර කුඩා රබර් බටයක් සවිකර ගන්න) ඇතුල් කිරීමයි.  මෙසේ දින කිහිපයක් කළ යුතුය. මෙහිදී මත්ස්‍යා විසින් එම බෙහෙත් යම් ප්‍රමාණයක් නැවත එළියට දැමූවත් හොඳින් පෙවුන හොත් දින කිහිපයකින්ම රෝග ලක්ෂණ අඩුවී යනු දැකිය හැකි වෙයි. මෙම ප්‍රතිකර්මය කළ යුත්තේ රෝගය උත්සන්න වීමට ප්‍රථම බව  මතක තබා ගන්න. 

එහෙනම් තවත් පෝස්ට් එකකින් හමුවෙමු... 
ජයවේවා...!

කියවන ඔයාලගෙ අදහස් ඉතාම වැදගත්. එම නිසා කමෙන්ට් එකක් වශයෙන් ඔයාලගෙ අදහස් දක්වන්න. ඒක බ්ලොග් එකේ සාර්ථකත්වයට ගොඩක් වැදගත් වේවි...

6 comments:

  1. වැදගත් ලිපියක්. ඕනෑම පණු බෙහෙත් වර්ගයක් දුන්නට කමක් නැද්ද?

    ReplyDelete
  2. වෙළඳ නාමය මොකක් වුණත් කමක් නෑ. මිනිස්සු පාවිච්චි කරන ඕනම එකක් දෙන්න පුළුවන්.

    ReplyDelete
  3. 1.මේ කියලා තියෙන ඖෂධ ගන්න පුළුවන් ස්ථානත් ඒවායේ මිල ගණන් ආසන්න වශයෙනුත් කිව්වා නම් හොඳයි.

    2.මාළු ටැංකියක් කොතරම් කලකට වරක් පිරිසිදු කරන්න ඕනද?

    ReplyDelete
  4. 500මිලිග්‍රෑම් (amoxicillin 500mg)රු 10ක් වගේ මුදලකට ගන්න පුළුවන්. ඕනෑම ෆාමසි එකකින් මේවා ගන්න පුළුවන්. (මේ ඖෂධයට වඩා පණුබෙහෙත් ප්‍රතිකාරය ප්‍රතිඵලදායකයි) ඒක වෙළඳ නාමය අනුව වෙනස් වෙන්න පුළුවන්. පණුබෙහෙත් දීමට නොහැකි කුඩා මසුන්ට නම් ඉහත ඖෂධය දෙන්න පුළුවන්.
    මාළු ටැංකියකට හොඳ පෙරණයක් (Filter) තියෙනවා නම්, හුඟ කාලයක් අපිරිසිදු නොවී තියාගන්න පුළුවන්. නමුත් දවස් 2-3කට වරක් ටැංකියේ ජල පරිමාවෙන් අඟල් කිහිපයක් ජලය ඉවත් කර ඒ වෙනුවට අළුත් ජලය පුරවනවා නම්, මත්ස්‍යයින්ට ලෙඩ රෝග හැදෙන්නෙත් නෑ. ඒක ඔයාලත් අත්හදා බලන්න. ගොඩක් සාර්ථකයි.

    ReplyDelete
  5. මගේ දැනුමේ හැටියට මේක මසුන් 10000 න් 1 කෙක්ට හැදෙන දුර්ලබ රෝගයක්..ආහාර වලින් හෝ විසබිජයක් නිසා හැදෙනවා කියලා නම් අහල තිබ්බේ නැ....එමෙන්ම මෙය බෝ නොවන රෝග ගණයට වැටෙන රෝගයක්...

    ReplyDelete
  6. ඔබගේ අදහස් දැක්වීම ගැන ස්තුතියි...
    මේ පිළීබඳ නොයෙක් අදහස් තියෙනවා. මෙම රෝගය අතීතයේ දී ඉතාම කළාතුරකින් සෑදෙන රෝගයක් ලෙස සැළකුණත්, වර්තමානයේ දී අපිරිසිදු ජල තත්ත්ව යටතේ දුර්ලභ රෝගී තත්ත්වයක් නොවේ. මම ප්‍රායෝගිකව අත්දැකල තියෙනවා මේ රෝගය එක් මත්ස්‍යයකුට සෑදී තිබී ප්‍රතිකාර නොකර සිටියහොත් එම ටැංකියේ ජීවත් වන තවත් මත්ස්‍යයින් මේ රෝගයට ගොදුරු වන බව. මේ රෝගයට ගොදුරු වූ මත්ස්‍යයෙක් අනෙක් මත්සය්‍යයින්ගෙන් වෙන් කිරීම කරන්නේ එම මත්ස්‍යයාගෙන් රෝගය බෝ වන නිසා නොවන අතර, එම මත්ස්‍යයා අනෙක් මසුන්ගෙන් වෙන්කර නිරෝගී මසුන්වත් එම රෝගී ටැංකියෙන් ඉවත් කර එම ටැංකිය පිරිසිදු කිරීම සඳහා ය. මෙම රෝගය රෝගී මත්ස්‍යයෙක්ගෙන් තවත් මත්ස්‍යයකුට බෝ වන රෝගයක් බව මා සඳහන් කර නෑ.

    ReplyDelete

ඔබගේ අදහස් හා යෝජනා...

ගෝල්ඩ්ෆිෂ් (GOLDFISH) මසුන් අභිජනනය (3 කොටස)

බොහෝ කාලෙකට පසුව තමයි මාළු ගැන පෝස්ට් එකක් කරන්නෙ. ඊමේල් මගින් අදහස් යෝජනා එවපු අයටත් ගොඩක් ස්තුතියි. හුඟ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා කාර්යය බහුලත්...